The Walle

කැලෑහඳ, දෝන කමලාවතී තුළින් මතුවන සිංහල දෙමළ නොරිස්සුම

Posted in විශ්ලේෂණ, සමාජ-දේශපාලන by admin on February 17, 2009

වෛද්‍ය රුවන් එම්.ජයතුංග මහතා විසින් ලියන ලද මෙම ලිපිය 2009 පෙබරවාරි මස 15 වැනිදා ‘ඉරිදා ලක්බිම’ පුවත් පතේ පල වූවකි.  මෙය සිංහල-දෙමළ ජන මනස තුල වන අවිඥානික හැඟීම් සම්බන්ධයෙන් සරල විවරණයකි. එහෙත් ඒ සරල විවරණය, මෙතෙක් ජාතිකත්ව අර්බුධය පිළිබඳ ප්‍රමුඛව සාකච්ඡා නොවුනු තවත් මානයක් මතු කරයි. දශක ගණනාවත ජන ඝාතක යුද්ධයකින් අනතුරුව මේ මොහොත යම් සංදිස්ථානයකි.  ඒ එල්.ටී.ටී.යේ යුධමය පරාජයෙන් ඉක්බිති නැවතත් අර්බුධයේ මුල් අදියරට නිරාවරණය වෙමින් පවතින නිසාය. අවාසනවකට අපි තවමත් අර්බුධයට හේතූභූත වූ කාරණා සම්බන්ධයෙන් අඳුරේ අතපතගාන ස්වරූපයක් අනුගමනය කරමු. ඒ අතින් මේ ප්‍රවේශය වැදගත්ය.

වෛද්‍ය රුවන් එම්.ජයතුංග මහතා විසින් ලියන ලද “ප්‍රභාකරන් සාධකය: මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්” කෘතිය තුල මේ පිළිබඳව මීට වඩා පුලුල් ලෙස සාකාච්ඡා කොට ඇත.

“වර්ගවාදීන් නොවූ ඇතැම් සිංහල නවතකාකරුවන්ගේ ප්‍රසිද්ධ නවකතාවලින් දුවිඩ මිනිසුන් කෙරෙහි සිංහල මිනිසුන් තුළ තිබූ නුරුස්සනාභාවය ප්‍රකට වී ඇත. නමුත් ඒවා වැඩි සැලකිල්ලට යොමු වී නැත. ඩබ්ලියු. ඒ සිල්වාගේ “කැලෑහඳ” හා ගුණදාස ලියනගේ ලියූ “දෝන කමලාවතී” නවකතාවලින් මෙසේ සිංහල මිනිසුන්ගේ සාමූහික අවිඥානය නිරූපණය වී ඇති ආකාරය විචාරකයින්ගේ අවධානයට යොමු නොවූයේ එය එදවස ඒ හැටි අපූරුවක් නොවූ නිසාද?

ජනවාර්ගික ගැටුම තුළ සිංහල හා ද්‍රවිඩ ජාතීන් තුල පවත්නා සාමූහික අවිඥානයේ බලපෑම අධ්‍යනය කොට ඇත්තේ අඩුවෙන් බව පෙනේ. මෙම ජාතීන් දෙක අතර අවිඥානිකව පවත්නා සතුරු බව හා ගුටුම්කාරී බව ඇතැම් විට වර්තෙමාන ජනවාර්ගික අර්බුධයට තලුලුවක් වන්නට ඇත. එම නිසා ගැටුම් නිරාකරණයේදී සහ ජාතීන් දෙක අතර සාමය හා සහජිවනය ගොඩනැගීමේදී මෙවැනි අවිඥානික සාධක කෙරෙහි සැලකිලිමත් වීමද එවැනි සාධකයන් නිශේධනය කිරීමට ඉවහල් වෙයි.

මේ ශත වර්ෂයේ මුල් භාගයේ හෝ ඊට පෙර සිට සිංහල අවිඥානය තුළ දුවිඩයන් කෙරෙහි තිබුණේ සතුරු බවක් මෙන්ම පිළිකුලකි. එය දුටුගැමුණු එළාර යුද්ධය පිළිබඳව සියවස් ගණනාවක් පුරා ඇසූ සොලීන් පිළිබඳ විරෝධය අපගේ සාමූහික අවිඥානය තුළ තැන්පත් වී තිබේ. ඔවුන් තුලද සිංහලයන් පිළිබඳ ඇත්තේ එවැනිම චිත්‍රයකි. ඔවුන් සිංහලයන් අභිබවා ගොස් අපව යටත් කරගනු ඇතැයි අහේතුක බියක් අප තුළ තිබේ. මහජාතිය වන සිංහලයන් සුළුතරය වූ තමන් ගිලගනු ඇතැයි ඔවුන් තුළද එවැනි අහේතුක බියක් තිබේ.

නිදහසින් පසු මෙම ජාතීන් දෙක අතර ජාතිවාදී කෝලාහල ඇති විය. ජාතීන් දෙකටම අයත් පුද්ගලයන් කුරිරුකම්වල යෙදුනහ. එම නිසා වඩාත් කුරිරු වූයේ කුමන ජාතියද යන්න එතරම් වැගත් නොවේ.

මෙම හැසිරීම හැඳින්විය යුත්තේ සාමූහික අවිඥානයෙන් මෙහෙයවන්නක් හැටියටය. මේ සාමූහික අවිඥානය cohetive uncon පිළිබඳ අප මෙහි අධ්‍යනය කර ඇත්තේ නැති තරම්ය. මේ පිළිබඳ ලෝකයා මුලින්ම දැනුවත් කළේ කාල් ගුස්ටාව් යුංය. හේ පුද්ගල අවිඥානය හා සාමූහික අවිඥානය වශයෙන් ස්ථර දෙකකට අවිඥානය බෙදුවේය. සාමූහික අවිඥානයේ අනාදිමත් කාලයක් පුරා ජනවාර්ගික වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් මෙන්ම පොදුවේ මානව වර්ගයා ලුළ පැවැති ස්මරණයන්ද එක් රැස්ව පවතින බව ඔහු පෙන්වා දුන්නේය. අපි දැන් ඩබ්ලියු. ඒ සිල්වාගේ “කැලෑහඳ” නවකතාවේ මුල්පිටු කිපය පෙරළා මේ ගැන හොයමු.

“මාලිනී ද සීයාගේ නියමයට අනුව නිතරම තම කනකර ගැන සෝදිසියෙන් සිටියාය. ඇ‍යට තම ගමේ උත්සවයන් හා රුස්වීම්වලදී මහ සෙනග අතර හැසිරුණු පළපුරුදුකම් ඇතිවත්, ඒ පළපුරුදුකමක වග මෙහිදී නොදැ‍නේ. මේ දකුණු කොළඹ මෙන්ම හින්දු දේවස්ථානයද වෙයි. බොහෝ සේ හැසිරෙන දෙමළ ජනයාද ඇයට අපූර්ව දර්ශෙනයකි. ඈ සිංහල පිරිසකට නම් කැමතිය. සිංහල පිරිසක් අතර තෙරපෙන්නෙකුට ලැබෙන්නේ තෙරපීමේ පීඩාව පමණකි. දෙමළ සෙනඟක් අතර තෙරපෙන්නෙකුට තෙරපීමේ පීඩාව සමඟ වැස්මක් නැති ඇඟෙන් නික්මෙන දෙමළ දහදිය ගඳද ඉවසන්නට සිදුවේ.”

ඩබ්ලියු. ඒ. සිල්වා මහතාගේ විස්තර වර්ණනාව අනුව දෙමළ ගඳ පතුරුවන මිනිසුන් එක්තරා ආකාරයක මනුෂ්‍ය කොටසකි. ඔවුන් අප මෙන් පිරිසිඳු නැත. අපිරිසිදු ජන කොටසකි. ඩබ්ලියු. ඒ. සිල්වා මහතා පිළිබඳව නොදත් පුද්ගලයෙකු ඔහු ඉතා වර්ගවාදියකු ලෙස හෙළාදකිනු නිසැකය. එහෙත් ඔහු කුරිරු ගතිවලින් තොර යහපත් මිනිසෙක් විය. ඔහුගේ පෑන් තුඩින් ලියැවෙන්නේ සිංහල මධ්‍යම පන්තියක ආකල්ප විය හැක. ඔවුන් දමිළයන් කෙරෙහි වෛරයක් නැති වුවද යම් ආකාරයෙක පිළිකුලක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් පෙන්වූහ. මෙම මානසික ශේෂයන් අද දක්වාම සිංහල සාමූහික විඥානයේ රැඳී තිබෙයි. එම නවකතාවේ තවත් තැනෙක දැක්වෙන විස්තරයක් මෙසේය.

“ඔන්න….. ඔන්න….. වේල් එනෝ….. වේල් එනෝ….. සිංහලෙන් මාලිනියට ශ්‍රවණය වූ එකම ජනරාවය මෙපමණයි. එයින් මේ වේල් පෙරහැර එන කලබලය බව ඈ තේරුම් ගත්තාය. ඇය කෙරේ ද වේ ල් පෙරහැර දකින ආශාව බලවත් විය. එහෙත් ඇයට එය තවමත් නොපෙනේ. ඇයට වරින්වර පෙනෙන්නේ සෙනඟ සැඩපහර මැදින් පෙම් කෙළින මත්ස්‍යයන් මෙන් උඩ නැගෙන වේවැල් පහරවල් හා බැටන් පොලු පමණකි. කෙළිලොලින් මත්ව විගඩ වෙසින් නටන දෙමළ ජනයා සංසිඳුවන ‍පොලිස් භටයන්ගේ හා පෙරහර නායකයන්ගේ මේ බැටන් පොලු හා වේවැල් සරඹය අන් කාහට කෙසේ වුවත් මාලනියට නම් සිත් පිනවන දර්ශනයක් නොවීය.”

මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ වේල් පෙරහර නිාස කලබලයට පත් වූ ද්‍රවිඩ සෙනගට පොලිස් භටයන් විසින් පහරදීමය. එකල එවැනි පහරදීම් නිබඳවම සිදු වූ බව පැරණි පොලිස් නිලධාරීන් අවංකවම පිළිගනියි. එය ඩබ්ලියු. ඒ. සිල්වා මහතගේ විස්තර වර්ණනාවටද එක්විය. මෙම විසත්රය බෙහෙවින්ම කිට්ටුවන්නේ බර්මිංහැම් හි 60 දශකයේ මාටිං ලුතර් කිංගේ සාමකාමී පෙළපාළියට පොලිස් භටයින් විසින් පහරදීමය.

දශක ගණනාවක් පුරා කැලෑ හඳ කියවන පාඨකයන් මේ වන තෙක් එවැනි පහරදීමක් හෙළාදැක නැත. කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව අපි දශක ගණනාවක් කියවූයෙමු. එසේම චිත්‍රපටයට ද නැගුණි. කිසිවකු මෙම ඡේදය පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකළහ. එ මන්දයත් අපගේ ලෝකයේ මෙය සුළු සිද්ධියකි. කිසිසේත්ම ගණන් ගත යුතු නොවන්නකි.

අපගේ සංස්කෘතිය කේන්ද්‍ර කොට සිතීමේදී අප එය පිටස්තර අහඹු සිද්ධියක් ලෙස සලකමු. එහෙත් 1915 බෞද්ධ පෙරහරකට යෝනකයන් ගල් ගැසූ විට අපි සසල වූයෙමු. ආගමික පෙරහරකට අවහිරතා ඇති කළ හැක්කේ කෙසේද? යන්න අපි ප්‍රශ්න කෙ‍ළෙමු. එහෙත් කැලෑ හඳ නවකතාවේ පොලිස් භටයන් ද්‍රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම අපගේ චින්තනය අනුව සුළු සිදුවීමකි.

එවැනි පහර දීමක් ඔවුන්ගේ කෝණයෙන් බලමු. ‘දුප්පත් ද්‍රවිඩ බැතිමතුන් පිරිසක් වන අප වේල් පෙරහැර නැරඹීම සඳහා පැමිණියෙමු. අපගේ උනන්දුව තීව්‍රර වීමෙන් පාර මදක් අවහිර විය. එහි රාජකාරියේ නිරතව සිටින සිංහල පොලිස් භටයන් අපට නිර්දෙය ලෙස පහර දුන්හ. අප දුප්පත් නිසාත්, අසරණ නිසාත්, කළ හැක්කක් නොවීය. බැටන් පොලු පහර වැදීම නිසා තඩිස්සි වී ගිය අත් පාවල අපි තෙල් ආලේප කළෙමු.’

මෙවැනි සිද්ධියක් දැන් දුටු පුද්ගලයෙකුට ඇතිවන හැඟීම කුමක්ද? එසේම තමාගේ පියා එලෙස නිර්දය ප්‍රහාරයකට ලක්වනු දැකීම තුළින් දෙමළ ළමයා තුළ ඇතිවන හැඟීම කෙබඳු වේද? අපි අපගේ සදාචාරයෙන් ප්‍රශ්න කිරීමේ කාලයට එළැඹී සිටිමු. මෙයට ප්‍රතිඋත්තර ලෙස දෙමළුන් ගෝමරන්කඩවලදී හෝ ගෝනාගලදී සිංහල දරුවන් පෙති ගැසූ බව කිවහැක. එක වරදක් තවත් වරදක් මකා නොදමයි. කුඩා වතුර බින්දු බිඳු එක්වීමෙන් මහා ජලාශයක් සෑදෙන අයුරු අපි පාසලේදී උගත්තෙමු. සිංහල, දෙමළ, වාර්ගික අර්බුධය එලෙස කුඩා ජලබිඳු එක්වීමෙන් සැදුනු මහා ජලාශයකි. අපි යලිත් කැලහඳ කෘතියට පිවිසෙමු.

මාලිනියට කැලෑ හඳේ දෙමළ ගඳ ඉවසිය නොහැකි විට හටගන්නා තත්වයයි මේ ‘සෙනඟ මැදද නොයෙක් ගැටුම් ගැටෙන බව ඇයට දැනේ. එහෙත් ඒ කිසිවක් ඇයට නොපෙනේ. ඇය ඉදිරියේ තාර ගා කළු කළ තාප්පයක් වැනි උරයෙන් උර පැහැර සිට එකම දෙමළ සරණියක් හැකිතාක් උස් වෙමින් ඒ දෙමළ පෙළට ‍උඩින් කරනගා ඈ මේ නැටුම් බලන්නට වෑයම් නළාය. ඇයගේ වෑයම සඵල නොවීය. ඇය වැනි බොළඳ වියේ සිටි මිටි තරුණියකට තබා උස පිරිමියකුටවත් මේ සෙනග සරණිය ඉක්මවා කිසිවක් දෙස බැලිය නොහැකියි. ඈ සුසුම් හෙලුවාය. සුසුම් හෙලීමට විනා ගැනීමටවත් ඇයට අවකාශයක් නැති දෙමළ ඇඟවලින් නික්මෙන දුගඳ එතරම්ම පිළිකුල් විය.’

ඩබ්ලියු. ඒ. සිල්වා මහතා දමිළයන් ගැන වර්ගවාදී පිළිකුල් කෝපයකින් බැලූ පුද්ගලයකු නොවීය. ඔහු සඳහන් කරන්නේ එකල සිංහලයකු දෙමළ ජනකායක් ග්‍රහණය කරගන්නා ආකාරයයි. හැබැවින්ම ජාතීන් දෙක අතර තදබල හිඩැස් තිබූ බව මේ අනුව පෙනීයයි. කැලෑ හඳ නවකාතාවේ සිංහල සාධූ නාදය සහ හින්දු හරෝ හරා නාදය සන්සන්දනය කරයි.

අපි ආගම්වලිනුත් දුරස්ව සිටියෙමු. අපගේ ආගම ශ්‍රේෂ්ඨ බවත්, අන්‍යන්ගේ ආගම මිත්‍යා දෘෂ්ටික බවත් උපකල්පන කරන්නේ තත්ත්වය උග්‍ර වූ විටදීය.

රත්තරන් සොයා දකුණු ඇමරිකාවට ගිය ස්පාඤ්ඤ ජාතික පිසාරෝ ස්වදේශික ජනයා මරා දැමුවේ ඉතා කෲරත්වයක් පෙන්වමිනි. එහෙත් එම ඝාතන පිළිබඳව ඔහුට කිසිඳු වරදකාරී බවක් නොවීය. ඒ මන්දයත් ස්වදේශිකයන් ක්‍රිස්තු භක්තික නොවූ මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය.

දොන් ජෙරනිමෝද අසවේදු ඇතුළු පෘතුගීසී සෙන්පතියන් සිංහල ගම් විනාශ කළේත්, මිනිසුන් කිඹුලන්ට ආහාර පිණිස දැමූවේත්, බිළිඳුන් උඩ දමා කඩු තුඩින් අල්ලා කඩුගෑවේත්, ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය. ඔවුන්ගේ කෝණයෙන් බලනවිට ඔවුන් ඝාතකයන් නොවේය යන නිගමනයට පහසුවෙන් එළැඹිය හැකිව තිබුණි.

කැළෑ හඳ කෘතියට බොහෝ කලකට පසුව 1971 වසරේ පළකරන ලද ගුණදාස ලියනගේ මහතාගේ දෝන කමලාවතී නවකතාවේ දෙමළ වතු කම්කරුවන් ගැන මෙසේ කියයි.

“කඩයට ආගිය අයගෙන් මා වඩාත් පිළිකුල් කළේ හල්වතුර වත්තේ දෙමළ මිනිසුන් සහ ගැහැනුන්ය. දෙමළ මිනිසකු හෝ ගැහැනියක කඩයට එන විට මා ඇස් පියාගෙන සිටියත් ඔවුන් ගඳින් ඇඳින ගැනීමට මට ශක්තියක් තිබුණි. ඔවුන් ළඟ තිබුණේ පුදුම හඬු ගඳක්, හඬු ගඳගසන වේට්ටිවල, සාරිවල ගැටගසා ඇති සල්ලි දිග හැර මා අතට දුන් විට මා ඒවා ගත්තේ අදං ආතාගේ සල්ලි ගන්නවාටත් වඩා පිළිකුලෙනි.”

ගුණදාස ලියන්ගේ මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියත් ලේඛකයකු විය. ඔහු ජාතිවාදියකු නොවීය. මෙම නවකතාවෙන් ප්‍රකාශ වන්නේ ද්‍රවිඩ වතු කම්කරුවන් පිළිබඳව ගැමියන් තුළ තිබූ චිත්‍රයයි. ඔවුන් අසරණ නමුත් පිළිකුල් සහගත කොටසක් බව ගැමියෝ විශ්වාස කළහ.

ඩබ්ලියු. ඒ. සිල්වා මහතාත්, ගුණදාස ලියනගේ මහතාත් පෙන්වාදෙනුයේ දමිළයන් පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ තිබූ හැඟීම්ය. ඔවුන් පිටස්තරයන් බව සිංහල අවිඥානයේ තිබුණි. එම නිසා ජනවාර්ගික ගැටුම්වලදී සහකම්පණීය අවබෝධකයින් තොරව ඔවුනට පහරදීමට ගැමියන්ට හැකි වූහ.

වාර්ගික වශයෙන් එකිනෙකා ප්‍රතික්ෂේල කරන හෝ සතුරු බව පෙන්වන අවිඥානික ශේෂයන් සිංහල හා ද්‍රවිඩ මනැස්වල රැඳී පවතියි. එම නිසා එවැනි අවිඥානික ශේෂයන් පිළිබඳ දැනුවත් විම හා විශ්ලේශනය මඟින් මෙම ජාතීන් දෙක අතර පවත්නා දුරස්ථ බව අවම කළ හැක. එබැවින් ගැටුම් නිරාකෙරණයේදී මෙකී අවිඥානික ස්කීමාවන් Schema කෙරෙහි අවධානය යොමු විය යුතුය.

වෛද්‍ය රුවන් එම්.ජයතුංග මහතා

මංජුසාව – පිටුව 5
2008 පෙබරවාරී 15 ඉරිදා ලක්බිම

සිංහල සංස්කරණයට පෙරවදන – “බිඳුණු තල්රුක”

‘බිඳුණු තල්රුක’ (The Broken Palmyra)– 1988 දී යාපනය විශ්වවිද්‍යාල අචාර්්‍යයවරුන්ගේ සන්ධානය විසින් රචිත මෙම කෘතිය, ලාංකීය සමාජ අර්බුධයේ වත්මන් අවධිය තුල වුවද නැවුම් වූත්, සාධනීය ප්‍රවේශයක් පෙන්නුම් කරයි.  අද ද නොවිසඳී පවත්නා වාර්ගික ගැටළුවත්, ඒ හරහා පැනනැගී ඇති යුධමය වාතාවරණයත් තුල, ඊට මූලික වු දේශපාලන-සමාජ හේතූන් පිළිබඳව දෙමළ ජනයා‍ගේ ඇසින් දෙමළ ජනතාව අමතා ලියන ලද මෙම කෘතිය, 1993 දී සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් සිංහලට පරිවර්තනය කෙරිණි. මෙහි උපුටා දක්වා ඇත්තේ එම සිංහල පරිවර්තනය සඳහා කෘතියේ කතුවරුන් විසින් ලියන ලද පෙරවදන වෙයි.

“මේ පොතෙහි සිංහල  පරිවර්තනය එළි දකින්නේ, මේ රටේ සිටින ජන කණ්ඩායම් එකිනෙකා තේරුම් ගැනීමත්, එකිනෙකාට ගරු කිරීමත් පෙර කවරදාකටත් වඩා අත්‍යවශ්‍ය කාලයකදි ය. අප බොහෝ දෙනා හැදී වැඩී ඇත්තේ මුළු රටම නැතහොත්, එහි එක් ප්‍රදේශයක්, එක් වාර්ගික කණ්ඩායමකට පමණක් අයිති විය නොහැකිය යන අමිහිරි අදහස, වෙනත් ජනකොටසක කෙනෙකු දුටු විගසම සිහිපත් කෙරෙන දේශපාලන වාතාවරණයක් තුළ ය. හොඳ මිනිසුන් යයි අප ගැනම සිතාගෙන සිටි අපි අනෙක් ජන කොටස සම්බන්ධව “ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය” යි දේශනා කළෙමු. අප එසේ කළේ ඔවුන් පන්නා දැමීමට අපට නොහැකි වූ නිසාය. අප දන්නා පරිදි කවර ප්‍රජාවක් තුළ හෝ, එවැනි සංකල්පයක් පිටුපස අවසානයේදී  තිබෙන්නේ සමාජ ප්‍රභූත්වවාදය සහ ම්ලේච්ඡත්වය යි. “පිටස්තරයා” ගේ සිරුර පසාකරමින් අනිණ කිණිස්ස වූ කලී, ආපස්සට හැරී එන දෙපැත්ත කැපෙන එකකි. අපට අපේම ගරුත්වය රැක ගත හැක්කේ, අන්‍යයින්ට ගරු කිරීමට අප උගත් විට පමණි. මෙම පොතෙන් සෑහෙන දුරකෙට සාකච්ඡා වන්නේ, එවැනි විශ්ව සාධාරණ මූලධර්මයන් බැරෑරුම්ව ගණන් නොගැනීමෙන් ද්‍රවිඩ සමාජය පත් වූ ඉරණම ගැනයි.

1987 ඔක්තෝබර් මාසයේ ඇරඹි ඉන්දියානු සාම සාධක හමුදාවේ යුද ප්‍රහාරයන් මැද්දේ අප මේ පොත ලියන්නට පටන්ගත් විට, අප උත්සහ ගත්තේ අපේ දෑස් වලට පෙනුණු යථාර්ථය ගැන සිත් යොමු කිරීමට ය. සිංහල පාඨකයා අතට එය පත්වේ යැයි එකල අපට සිතුණේ නැත. තුවක්කු අතින් දැරූ බලවේග, මුළු මහත් ප්‍රජාවක් මතම නිහඬ බව හා අසරණකම බලෙන් පටවා තිබූ විටෙක, අපට කළ හැකි එකම දෙය මෙම පොත ලිවීම යැයි අපට සිතුණි. කල්යාමේ දී අපට පෙනුණු දෙයක් නම්, මේ පොත ගැන සිංහල පාඨකයා අතර සෑහෙන උනන්දුවක් ඇති වූ බවයි. එක් සිංහල සති පතා පුවත් පතක්, එය පරිවර්තනය කර කොටස් වශයෙන් පළ කිරීමටද පටන් ගෙන ඇත. මේ උනන්දුව ගැන අපි අතිශයින් සතුටු වෙමු. මුළු පොතම සිංහලෙන් පළ කිරීම අපි ඉමහත්ව අගය කරමු.

ලංකාවේ දැනට පවත්නා ගැටුම, එකිනෙකට පටහැණි සිංහල හා දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබූවකි. මුස්ලිම් ජනයා, ඔවුන්ගේ කැමැත්තක් නැතිවම එයට ඇදගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම්, පළමුවෙන් අප කළ යුත්තේ මේ අධිපති මතවාදයන් කොතරම් “බුද්ධිමත්” හා විචක්ෂණ බව පෙනුණත් ඒවායේත්, කෙතරම් උගත් වුවත් ඒවා ඉදිරිපත් කරන්නවුන්ගේත් වංචාකාරී බව තේරුම් ගැනීමයි.

එක් අතකින් දකුණේත්, බටහිර රටවලත් ජීවත් වන දෙමළ ජනයා සිතන්නේ සිංහලයන් ගැන විශ්වාසය තැබිය නොහැකි බවත්, දෙමළ ප්‍රජාවට ඊළම් රාජ්‍යයක් හැර අන් කිසිවක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ය. එහෙත් හාමතයට ගොදුරුවන්නේ, බොම්බ ප්‍රහාරයනට හසුවන්නේ, ෂෙල් වෙඩි වලට ඉලක්ක වන්නේ සහ මරණයට ගොදුරුවන්නේ බොහෝ විට, පැන යාමට කිසිදු අවකාශයක් නැති දුප්පත් ජනතාව යි. රජයේ හමුදාවලින් ඔවුන් ලබන නිමක් නැති පීඩාවට අමතරව, අධිපති ද්‍රවිඩ සටන්කාමී ව්‍යාපාරයෙන් කෙරෙන මහා පරිමාන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ද ඔවුහු ගොදුරු වෙති. මෙය ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධානවල බැරෑරුම් සැලකිල්ලට ලක්වෙමින් ද පවතී.

අනෙක් අතට, කොළඹ ජීවත් වන සිංහල ප්‍රභූතන්ත්‍රය කියන්නේ, උතුරු-නැලෙනහිර පළාත්වල වාසය කරන ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ අනාරක්ෂාව පිළිබඳ හැඟීම් තව තවත් දැල්වීමට හේතු වන පරිදි, එම පළාත් වල, එළිපිට මෙන්ම හොර රහසේම ද, රාජ්‍ය යන්ත්‍රය යොදා ගනිමින් සිංහල ජනපද පිහිටුවන ලෙසය. මේ ප්‍රභූන් පුවත්පත්වලින් ඔටුණු පලඳවනු ලැබූ වීරයින් වුවද, ජනපද වල පදිංචි කරුවන් වීමේ කිසිදු අභිලාෂයක් ඔවුන්ට නැත. තදබල ආරක්ෂාව මැද ඔවුන් ජනපද වලට යන්නේ ඡයාරූප ගැනීමේ අභිලාෂයක් සඳහා පමණි. මේ ජනපදිකයන් අමානුෂික හා ම්ලේච්ඡ ආවේගයන්ගේ දිය සුළියකට ඇදවැටී ඇති දකුණේ සමාජ ක්‍රමයේම ගොදුරු පමණි. මේ අතර, ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් ඒ පළාත් වල කෙරෙන ද්‍රවිඩ ගම්මාන විනාශ කරනු ලැබීම, දකුණේ පුවත් පත් වල වාර්තා වෙන්නේ නැත. ද්‍රවිඩ සටන්කාමී ව්‍යාපාරවලින් මතුවන කෲරත්වය, එක් අතකින් මේ විනාශයේම ප්‍රතිඵලයකි. ද්‍රවිඩ සටන්කාමීන් සිංහල ගම්මානවලට කරන ප්‍රහාරයන් පිළිබඳ ඡයාරූප පුවත්පත් වල පල වුවත්, ඒවා ඉක්මණින් අමතක වී යයි. සිංහල ජනපදිකයන් මුහුණ දෙන ඛේදවාචකය පිළිබඳ අධ්‍යයනය කළ විට, අධිපති දේශපාලන මත වාදයේ ඇති කුහක සහ වංචාකාරී බව අනාවරණය වෙනු ඇත. මේ නිසාම බැරෑරුම් ප්‍රශ්න මතු කෙරෙන්නේ ද කලාතුරකිනි.

මේ කෘතිය සමාන්‍ය සිංහල පාඨකයා සඳහා ලියැවී නැති නිසා, ඓතිහාසික පසුබිම පිළිබඳව ඇති තොරතුරු මඳ බව පෙනේ. එහෙත් ද්‍රවිඩ විමුක්ති අරගලය යනු ම්ලේච්ඡ සහ කුරිරු එක් ව්‍යාපාරයක් නොව, අතීතය විසින් උරුම කරන ලද සදාචාරාත්මක ප්‍රහේලිකාවන් සහ සීමාවන් ජය ගැනීමට නිරතුරුවම ප්‍රයත්න දරණ ව්‍යාපාරයන් සහ අදහස් වලින් වලින් ද සමන්විත පොහොසත් ඉතිහාසයක් ඇත්තක් ද බව තේරුම් ගැනීමට සිංහල පාඨකයාට ඉවහල්වන අවශ්‍ය තරම් තොරතුරු මෙහි තිබේ. මෙය සිදුවීම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්  හෝ පරිපූර්ණ විග්‍රහයක් හෝ තිබෙන්නකැයි අපි නොකියමු. අපේ අවබෝධයේ ඇති අඩුපාඩු සපුරාලනු පිණිස, අදහස් සහ අත්දැකීම් ඇති අන් අය විසින් ද තවත් බොහෝ පොත් ලියැවෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.

මේ පොතට දකුණ සමග ඇති ඉතා වැදගත් සම්බන්ධයක් ගැන ද සඳහන් කිරීමට අපි මේ අවස්ථාව යොදා ගන්නෙමු. මේ පොතෙහි සම කතුවරයෙකු වන අභාවප්‍රාත්ත රාජනී විවාහ වී සිටියේ, ඈත දකුණේ ගැමි පවුලකින් ආ බුද්ධිමතෙකු වූ දයාපාල  තීරණාගම සමඟය. රාජනී මේ රටේ සාමාන්‍ය ජනයා වෙත මහත් ආදරයක් ඇතිකර ගත්තේ ඔහුගේ ආභාසයෙනි. ශිෂ්‍යයන් හා පොදු ජනයා අතර ඈ කල දේශපාලන කටයුතු, මේ විවාහයේ ඵලයක් විය. මේ පොතෙහි මතු වූ අදහස් බොහෝ ප්‍රමාණයක් වෙනුවෙන්, අපි මේ සම්බන්ධයට ණය ගැති වෙමු.

අවසාන වශයෙන්, ඉතා කෙටි කළක් තුළදී ඉතා හොඳින් මෙම පොත සිංහලට පරිවර්තනය කරවා මුද්‍රණය කිරීමට භාරගත් සමාජ විද්‍යාඥයින්ගේ සංගමයට අපේ කෘතඥතාවය පළ කරමු.

රාජන් හූල්
දයා සෝමසුන්දරම්
කේ. ශ්‍රීධරන්

1993 ජනවාරි 27.”