The Walle

කුණාටුව

Posted in පොතකින් පිටුවක් by admin on November 7, 2009

කුණාටු හට ගන්නේ කොතැන්හි ද?
ඈත අහසේ ද, මෑත පොළවේ ද?
යුග ගණන් මුලු අල්ලා පැලවුණු,
රූස්ස රුක් රජුන් ඇද හෙලා,
කල්පාන්තරයක තෙක් අචලයයි සිතූ,
දැවැන්ත ගල් පෙරලා,
සත් සමුදුරම කලඹා ගොඩගලා,
අපේ ලෝකය වෙනස් කරන කුණාටුවක් !
ඔව්, එවන් යෝධ කුණාටුවක්,
1917 දී රුසියාවේ හැමුවේය !
එයින් ලොව වනසට නොව වෙනසට පත්වීම ඇරඹිණ.
ඒ කුණාටුව පළමුව හටගත්තේ,
ලෙනින් ගේ සිතෙහි ය.
සිතින් ගතටත්, ගතින් පොළොවටත්
හමා ගියේ ය!
එදා මෙදාතුර තවමත් හමයි.
සමහරු එහි හරි වැරදි සොයති.
එහෙත් වෙනස්වීම වෙනස් නොවේ.
ලොව වෙනස් විය යුතුය,
ඇතතෙන්ම තව දුරටත් -ඒ කුණාටුව,
නැහැ -ලෙනින් !
ලොවපුරා හමා යා යුතුය.

– එස්. ජී. පුංචිහේවා (දියැස සඟරාව, වෙලුම 1 කලාපය 15)
1995 නොවැම්බර් – 1996 ජනවාරි

‘විමුක්ති මාර්ගයක ඇති අවසාන අවන්හල’

{-} මාක්ස්වාදය විසින් අපට හඳුන්වා දී ඇති විමුක්ති මාර්ගයේ අවසන් අවන්හල කම්කරු පන්තියයි. අවසාන ධනවාදී සමාජ-ක්‍රමය නිපදවමින් සිටින්නේ නිර්ධනයන් වෙනුවට පාරිභෝගිකයින් ය. ඉල්ලීම් සහ සටන්පාඨ ලෙස අපි වෙත එන්නේ පාරිභෝජන අයිතිවාසිකම් ය. අධිකතර නිෂ්පාදනය පාරිභෝගිකයන් තැනුවා සේම ම එවැනි අධි නිෂ්පාදනයක් නැවත ධනවාදී සමාජ-ක්‍රමය නිෂ්පාදනය වෙතට ද තල්ලු කරයි. අප දැන් මේ කල් ගෙවන්නේ මේ ක්‍රියාවලි දෙක අතර ගතවෙන සංක්‍රමණික කාලයේය ය. මෙම සංක්‍රමණික කාලයේ දී විරෝධාකල්ප ඉදිරිපත් කරන ආත්මයන් යනු අනෙකා සම්බන්ධයෙන් පැමිණිලි කරන්නන් මිස සමාජ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කරන විප්ලවවාදීන් නොවේ.

මාක්ස්වාදය යනු ධනවාදී දේශපාලන ආර්ථික විද්‍යාව හරහා පවතින සමාජ ක්‍රමයේ සූත්‍රය සොයා ගැනීම (වාස්තවිකත්වය) නොවේ.  දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ පෘථුල ප්‍රාඥයෙකුට පවා අප ගත කරන සංක්‍රාන්ති යුගයේදී කළ හැක්කේ ලුම්පනුන් සමඟ සංවාද කිරීම පමණි. පැමිණිලි කරන්නන් කතා කරමින් ඉන්නේ සමාජ ක්‍රමය ගැන නොව අනෙකා ගැන බව අපට නම් ප්‍රත්‍යක්ෂය. ගැටළුව වන්නේ ධනවාදී සමාජයේ රජ කරන අදහස් පිළිගන්නා අය කිඳාබැස ඇති වාස්තවික යථාර්තය අප වටහා ගන්නේ කෙලෙස ද යන්නය. අදහස් වලට අප සිතනවාට වඩා ගැඹුරු වාස්තවිකත්වයක් ඇත. අනෙකා ගැන පැමිණිලි කරන සුවපත් කළ නොහැකි ආත්ම අතහැර පවතින සමාජ ක්‍රමට හොඳින් ඓන්ද්‍රීයව බද්ධ වී ඇති මිනිසුන්ගෙන් ඉගෙන ගැනීමට අපි විවෘත මනසකින් සූදානම් ය. {-}

p-68
පෙරදිග සුලං‘ සඟරාව
ජනවාරි-පෙබරවාරි 2009 : 2 ඛාන්ඩය 1 කලාපය

නලීන් ද සිල්වා ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා

{-} නලීන් ද සිල්වාගේ සීයලා ධර්මපාලතුමාලා නම්, බාප්පලා බණ්ඩාරනායකලාය. ඔහුගේ මස්සිනාලා අමරසේකරලාය. අමරසේකරගේ පෙරහරට 1980 ගණන්වලදී හොඳ කසකාරයෙකු හමුවිය. ඒ නලීන්ය. අමරසේකර මුලින් මාක්ස්වාදයයි බුද්ධාගමයි එක්තැන් කරගැනීමට උත්සහ ගත් අතර නලීන් මුලදීම මාක්ස්වාදය විද්‍යාත්මකද යන කාල් පෙපර්ගේ ප්‍රශ්නය අසා මාක්ස්වාදයෙන් ඈත් විය. අමරසේකර මාක්ස් ශ්‍රෙෂ්ඨ මානව හිතවාදියෙක් යැයි මුලදී කියූ අතර නලීන්, මාක්ස් වනාහි නොම්මර එකේ සංස්කෘතික අධිරාජ්‍යවාදියෙකුයි කිවේය. අමරසේකරට අනුව ලංකාවේ ‘මාක්ස්වාදී අනුකාරකයන්’ කෙසේ වෙතත් මාක්ස්වාදයට යම් සාරයක් ඇත. නමුත් නලීන්ට අනුව මාක්ස්වාදයම කසිකබල් එකකි. එහි ගන්න කිසිඳු දෙයක් නැත. නලීන් ද සිල්වාට අවශ්‍ය වන්නේ අමරසේකරටත් වඩා පුළුල් ආකෘතියකි. 1988 ලියන ජාතික චින්තනයට විරුද්ධ වූවන්ට අභියෝගයක් නම් ලිපියේ සඳහන් කරන්නේ:

අද අවශ්‍ය වී ඇත්තේ මුළු ලෝකයම යුදෙව් චින්තනයෙන් ගැලවීමයි. යුදෙව් චින්තනය සමස්ත ානව වර්ගයාම දැඩි ලෙස ග්‍රහණයට හසුකරගෙන ඇතිවා පමණක් නොවේ. එම චින්තනය මුළු ලෝකයම සීඝ්‍රයෙන් විනාශය කරා යොමු කරයි. බටහිර විද්‍යාව හා තාක්ෂණය ධනපති ක්‍රමය, රෙපරමාදු ප්‍රතිසංස්කරණ ආදී සියල්ල යුදෙව් චින්තනය මත පදනම් වී ඇත. අද ජාතික චින්තනය අවශ්‍ය ලංකාවට පමණක් නොවේ. සෑම රටක්ම යුදෙව් චින්තනයෙන් කැඩී තම තමන්ගේ ජාතික චින්තනය ‍ගොඩනංවා ගැනීමට අවශ්‍ය වේ.

මෙසේ වැඩ පටන් ගන්නා නලීන් තව ටික කලක් යනවිට ලංකාවේ මාක්ස්වාදීන්ට (ජාතික චින්තනයට අනුව අනුකාරකයන්ට) පහරදීම අරඹයි. කාලෝෆොන්සේකා, වික්‍රමභාහු කරුණාරත්න වැනි අයට පහර නෙ අතර 1993 දී මාක්ස්වාදයේ දරිද්‍රතාවය නමිනුත් 1994 දී අපෝහකයේ රූපිකය නමිනුත් පොත් ලියයි. මේවායේ අවසාන ප්‍රතිඵලය මාක්ස්වාදීන් නිරුත්තර වීමයි.

ඔහු ගොඩනඟන ආකෘතියට,

1. බටහිර විද්‍යාත්මක හා දාර්ශනික සංකල්පවලට සිංහල බෞද්ධ අර්ථකතන ලබාදීම.
2. දිවයින පුවත්පත සිංහල-බෞද්ධයාගේ ජාතික පුවත්පත බවට පත් කිරීම.
3. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම කිසිදු අමතර අසාධාරණයක් වී නොමැති බවත්, පවතින්නේ ත්‍රස්තවාදයක් පමණක් බවත්, එය ආණ්ඩුවේ හමුදාව ලව්වා සමූල ඝාතනය කළ යුතු බවත් දැක්වීම.
4. සිංහල බෞද්ධයාටත් ප්‍රවාද ගොඩනැඟිය හැකි බව 2002 පමණ සිට පෙන්වමින් සතියකට එක් ප්‍රවාදය බැඟින් දැනට ප්‍රවාද 300ක් පමණ බිහි කිරීම.

1982 ජන.-පෙබ. යතාර්ථ සඟරාවට නලීන් ලියු ලිපියක මෙසේ සඳහන් කළේය.

මේ රටේ දෙමළ කතා කරන ජනතාව සිංහල ජනතාවත් සමඟ දනපති ක්‍රමය යටතේ සූරාකෑමට ලක්වී සිටී. එයට අමතරව ඔවුන් ජාතික වශයෙන්ද පීඩනයට පත්වේ. රැකියාවක් ලබා ගැනීමේදී, විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේදී දෙමළ ජනතාවට අවාසි වන අන්දමට කරුණු සිදුවේ. වතුකරයේ දෙමළ ජනතාව ජීවත් වන්නේ මනුෂ්‍යයන්ට ඔබින ආකාරයට නොවේ. එක් භූගෝලීය ප්‍රදේශයක ජීවත් වන එක් සංස්කෘතියකට හිමිකම් කියන එක් භාෂාවක් කතාකරන ජනතාවක් ලෙස අද දෙමළ ජනතාව, ඔවුන් දෙමළ වීම නිසාම අමතර පීඩනයකට ද ලක්වී සිටිති. එසේ නම් ඔවුන් පීඩනයට පත් කරන රාජ්‍යයෙන් වෙන්වීමට ඔවුන්ට අයිතියක් නැතිද?
දෙමළ ජනතාව වෙන්වීමට අදහස් කර ඇත්නම් ඒ අයිතිය ඔවුන්ට තිබෙන බව ප්‍රකාශ කිරීමට ධනපති විරෝධී පක්ෂ බිය වන්නේ ඇයි? ඒ අයිතිය වෙනුවෙන් කිසිම කොන්දේසියක් පැනවිය නොහැකිය. 

මෙවන් ඇත්තක් ප්‍රකාශ කිරීම අද සිටින නලීන්ට භීතියකි, ක්ෂතියකි. මේ ඇත්තෙන් ගැලවීමට නලීන් ෆැන්ටසිමය ආකෘතියක් ගොඩනැගීය. ජාතිය සංස්කෘතිය හා චින්තනය, ප්‍රභාකරන්  ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, නිදහස දිනාගැනීම, නිදහසේ පහන් ටැඹ, 56 දරුවෝ, ජාතියේ ඉරණම ලිව්වේ යම් ඇත්තකින් ගැලවීමටය.දෙමළ ජනතාවගේ ස්වයං-නිර්ණ අයිතිය වෙනුවෙන් 1982 දී ලියූ නලීන් 1992 වන විට දෙමළුන්ට විරුද්ධව සිංහල ජාතියේ ස්වයං-නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය.

නිදහස දිනාගැනීම කෘතියේ නලීන් කියන්නේ,

බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමෙන් පසුව පමණක් මෙරට බෞද්ධයන්ට මෙන්ම අන් අයටද නිදහස ලැබෙනු ඇත.

ඉතාම කෙටියෙන් කීවොත් නලීන් සිය ආකෘතිය මඟින්,

1. බටහිරයන්ගෙන් පිළිගැනීමක් (recognition) ඉල්ලා සිටියේය. එහිදී අපටත් අඛන්ඩ සංස්කෘතියක් තිබිණි. අපිටත් අනුරාධපුර යුගයේ විද්‍යාවක් දර්ශනයක් තිබිණි. උඹලාට පුනරුද සමයේ අපේ දේවල් තමයි ලැබුණෙ. එය එසේ කියා අපට පිළිගැනීමක් ලබා දියව්.

2. ලංකාවේ මෙළ හා මුස්ලිම් ජාතීන්ගෙන්ද පිළිගැනීමක් ඉල්ලා සිටියේය. මෙරට වත්මන් සංස්කෘතිය ගොඩ නැගුවේ සිංහලයන් බව තොපි පිළි ගනිව්. අපට ඒ පිළිබඳව පිලිගැනීමක් ලබා දියව්. එසේ පිළිගැනීම දුන්නොත් පමණක් උඹලාට මේ රටේ සිටිය හැකියි. නැත්නම් සමූල ඝාතනය වීමට සැරසියව්.

නලීන් ද සිල්වා මාක්ස්වාදී හැව ඇර ගොඩ නැගූ ආකෘතිය පුරවා දැම්මේ කවුරුන්ද? කොහොමද?”  {-}

(p 20-27)

පෙරදිග සුලං‘ සඟරාව
ජනවාරි-පෙබරවාරි 2009 : 2 ඛාන්ඩය 1 කලාපය

‘හෙටවත් රතු මල් පිපේදැයි බලමු’ ලිපියෙන් උපුටාගත් කොටසකි.

මාක්ස් ගේ බලපෑම

“මාක්ස්ගේ බලපෑම පිළිබඳව තරම් නරක ලෙසකින් වටහා ගනු ලැබූ කිසිවක් කිසිවිට නොවීය. ඔහු දස ලක්ෂ සංඛ්‍යාවන්ගේ මනස ග්‍රහණය කරගත් බව සම්බන්ධයෙන් එකඟත්වය පලවී ඇත. එහෙත් මාක්ස්ගේ බලපෑම මෙකී විශ්වාසවන්තයින්ගෙන් අවසන් වන බව පුළුල් ලෙස සලකනු ලැබේ… ඊට වඩා සත්‍යයෙන් දුරස්තර වූ අන් කිසිත් නැත. ඔහුගේ බලපෑමට තමන් හසුව නැතැයි, අඩුවෙන්ම සිතන අය දක්වා එම බලපෑම ව්‍යාප්තව ඇත. ..පංති ගැටුම හෝ අධිරාජ්‍යවාදය හෝ ජාතික යුද්ධයන්ගේ හේතූන් හෝ පිළිබඳව මාක්ස් බලපෑම් සහගත වීම අනිවාර්්‍යයව තිබුණි. මන්දයත් මිනිස් අත්දැකීමට අයත් අන් දේ සමඟින් එකිනෙක සම්බන්ධ වූ කරුණු පැහැදිලි කිරීමක් කල එකම තැනැත්තා ඔහු වූ බැවිනි. ඒ අනුව මුළු ඇමරිකානු චින්තනයම අධිරාජ්‍යවාදය පිළිබඳ මාක්ස්වාදී මතයෙන් ගැඹුරු බලපෑමකට හසුව ඇත.

ඔහුගේ අරමුණ විප්ලවවාදියෙකුගේ අරමුණ විය. එහෙත් ඔහුගේ විධික්‍රමය පඩිවරයෙකුගේ සහ විද්‍යාඥයකුගේ විධික්‍රමය විය. ඒ අනුව ඔහුගේ සංකල්පයන් යථාර්තය පිළිබඳ ස්වකීය අවබෝධය ලබා ගැනීමේදී සියළුම සමාජ විද්‍යාඥයන්ය ආධාර විය. ධනේෂ්වර සංකේන්ද්‍රණ ක්‍රියාදාමය තුල දී, ජනතාවගේ ප්‍රාග්ධන සම්පත් පිළිබඳ පාලනය වඩ වඩාත් සුළු ‍කොටසක් අතට පත්වීමේ ක්‍රියාදාමය මාක්ස් කල්තියා දුටුවේය… පංතීන්ගේ, එනම් ධනපතියන, මධ්‍යම පාංතිකයන් හා නිර්ධනීන්ගේ පැවැත්ම, ආර්ථික න්‍යාය පිළිබඳ ප්‍රධාන සම්ප්‍රදාය තුල දී පිළිගන්නේ නම්, ඒ රහසිනි. එහෙත් පහැදිලි ලෙසම පංතීහූ පවතින්නාහ. පංති අරගල යැයි සැක කටයුතු ලෙසකින් පෙනෙන කිසියම් දෙයක්ද පවතියි. මෙම කරුණු පිළිබඳ ඥානාවබෝධය සඳහා ලෝකය, මාක්ස් මත රදා පවතියි…

සැබැවින්ම බිහිසුණු වන්නා වූ අවපාතය පිළිබඳව කලින් ප්‍රකාශ කිරීම මඟින් ද මාක්ස් බලපෑම අත්කරගත්තේය… මාක්ස් වැරදි යයි විශ්වාස කල අය, අවබෝධ කර ගැනීමේ නොහැකියාව සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස ඉවත ලෑමට හැමවිටම හැකිය. මාක්ස් අවබෝධ කරගරනීම පහසු නැත. ඔහු වැරදි යයි සිතූ අය, එසේ අවබෝධ කර ගැනීමට අසමත්ව ඇත්තාහ.”

The Affluent Society – J.K. Galbraith. Page 63/66 ”

>> “කොල්ලකාරී ධනවාදයට එරෙහිව මාක්ස්වාදය – සංසන්ධනාත්මක ‍ඓතිහාසික විශ්ලේෂණයක්” –ටී. අන්ද්‍රාදි කෘතියෙනි.

සිංහල සංස්කරණයට පෙරවදන – “බිඳුණු තල්රුක”

‘බිඳුණු තල්රුක’ (The Broken Palmyra)– 1988 දී යාපනය විශ්වවිද්‍යාල අචාර්්‍යයවරුන්ගේ සන්ධානය විසින් රචිත මෙම කෘතිය, ලාංකීය සමාජ අර්බුධයේ වත්මන් අවධිය තුල වුවද නැවුම් වූත්, සාධනීය ප්‍රවේශයක් පෙන්නුම් කරයි.  අද ද නොවිසඳී පවත්නා වාර්ගික ගැටළුවත්, ඒ හරහා පැනනැගී ඇති යුධමය වාතාවරණයත් තුල, ඊට මූලික වු දේශපාලන-සමාජ හේතූන් පිළිබඳව දෙමළ ජනයා‍ගේ ඇසින් දෙමළ ජනතාව අමතා ලියන ලද මෙම කෘතිය, 1993 දී සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් සිංහලට පරිවර්තනය කෙරිණි. මෙහි උපුටා දක්වා ඇත්තේ එම සිංහල පරිවර්තනය සඳහා කෘතියේ කතුවරුන් විසින් ලියන ලද පෙරවදන වෙයි.

“මේ පොතෙහි සිංහල  පරිවර්තනය එළි දකින්නේ, මේ රටේ සිටින ජන කණ්ඩායම් එකිනෙකා තේරුම් ගැනීමත්, එකිනෙකාට ගරු කිරීමත් පෙර කවරදාකටත් වඩා අත්‍යවශ්‍ය කාලයකදි ය. අප බොහෝ දෙනා හැදී වැඩී ඇත්තේ මුළු රටම නැතහොත්, එහි එක් ප්‍රදේශයක්, එක් වාර්ගික කණ්ඩායමකට පමණක් අයිති විය නොහැකිය යන අමිහිරි අදහස, වෙනත් ජනකොටසක කෙනෙකු දුටු විගසම සිහිපත් කෙරෙන දේශපාලන වාතාවරණයක් තුළ ය. හොඳ මිනිසුන් යයි අප ගැනම සිතාගෙන සිටි අපි අනෙක් ජන කොටස සම්බන්ධව “ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය” යි දේශනා කළෙමු. අප එසේ කළේ ඔවුන් පන්නා දැමීමට අපට නොහැකි වූ නිසාය. අප දන්නා පරිදි කවර ප්‍රජාවක් තුළ හෝ, එවැනි සංකල්පයක් පිටුපස අවසානයේදී  තිබෙන්නේ සමාජ ප්‍රභූත්වවාදය සහ ම්ලේච්ඡත්වය යි. “පිටස්තරයා” ගේ සිරුර පසාකරමින් අනිණ කිණිස්ස වූ කලී, ආපස්සට හැරී එන දෙපැත්ත කැපෙන එකකි. අපට අපේම ගරුත්වය රැක ගත හැක්කේ, අන්‍යයින්ට ගරු කිරීමට අප උගත් විට පමණි. මෙම පොතෙන් සෑහෙන දුරකෙට සාකච්ඡා වන්නේ, එවැනි විශ්ව සාධාරණ මූලධර්මයන් බැරෑරුම්ව ගණන් නොගැනීමෙන් ද්‍රවිඩ සමාජය පත් වූ ඉරණම ගැනයි.

1987 ඔක්තෝබර් මාසයේ ඇරඹි ඉන්දියානු සාම සාධක හමුදාවේ යුද ප්‍රහාරයන් මැද්දේ අප මේ පොත ලියන්නට පටන්ගත් විට, අප උත්සහ ගත්තේ අපේ දෑස් වලට පෙනුණු යථාර්ථය ගැන සිත් යොමු කිරීමට ය. සිංහල පාඨකයා අතට එය පත්වේ යැයි එකල අපට සිතුණේ නැත. තුවක්කු අතින් දැරූ බලවේග, මුළු මහත් ප්‍රජාවක් මතම නිහඬ බව හා අසරණකම බලෙන් පටවා තිබූ විටෙක, අපට කළ හැකි එකම දෙය මෙම පොත ලිවීම යැයි අපට සිතුණි. කල්යාමේ දී අපට පෙනුණු දෙයක් නම්, මේ පොත ගැන සිංහල පාඨකයා අතර සෑහෙන උනන්දුවක් ඇති වූ බවයි. එක් සිංහල සති පතා පුවත් පතක්, එය පරිවර්තනය කර කොටස් වශයෙන් පළ කිරීමටද පටන් ගෙන ඇත. මේ උනන්දුව ගැන අපි අතිශයින් සතුටු වෙමු. මුළු පොතම සිංහලෙන් පළ කිරීම අපි ඉමහත්ව අගය කරමු.

ලංකාවේ දැනට පවත්නා ගැටුම, එකිනෙකට පටහැණි සිංහල හා දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබූවකි. මුස්ලිම් ජනයා, ඔවුන්ගේ කැමැත්තක් නැතිවම එයට ඇදගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම්, පළමුවෙන් අප කළ යුත්තේ මේ අධිපති මතවාදයන් කොතරම් “බුද්ධිමත්” හා විචක්ෂණ බව පෙනුණත් ඒවායේත්, කෙතරම් උගත් වුවත් ඒවා ඉදිරිපත් කරන්නවුන්ගේත් වංචාකාරී බව තේරුම් ගැනීමයි.

එක් අතකින් දකුණේත්, බටහිර රටවලත් ජීවත් වන දෙමළ ජනයා සිතන්නේ සිංහලයන් ගැන විශ්වාසය තැබිය නොහැකි බවත්, දෙමළ ප්‍රජාවට ඊළම් රාජ්‍යයක් හැර අන් කිසිවක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ය. එහෙත් හාමතයට ගොදුරුවන්නේ, බොම්බ ප්‍රහාරයනට හසුවන්නේ, ෂෙල් වෙඩි වලට ඉලක්ක වන්නේ සහ මරණයට ගොදුරුවන්නේ බොහෝ විට, පැන යාමට කිසිදු අවකාශයක් නැති දුප්පත් ජනතාව යි. රජයේ හමුදාවලින් ඔවුන් ලබන නිමක් නැති පීඩාවට අමතරව, අධිපති ද්‍රවිඩ සටන්කාමී ව්‍යාපාරයෙන් කෙරෙන මහා පරිමාන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ද ඔවුහු ගොදුරු වෙති. මෙය ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධානවල බැරෑරුම් සැලකිල්ලට ලක්වෙමින් ද පවතී.

අනෙක් අතට, කොළඹ ජීවත් වන සිංහල ප්‍රභූතන්ත්‍රය කියන්නේ, උතුරු-නැලෙනහිර පළාත්වල වාසය කරන ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ අනාරක්ෂාව පිළිබඳ හැඟීම් තව තවත් දැල්වීමට හේතු වන පරිදි, එම පළාත් වල, එළිපිට මෙන්ම හොර රහසේම ද, රාජ්‍ය යන්ත්‍රය යොදා ගනිමින් සිංහල ජනපද පිහිටුවන ලෙසය. මේ ප්‍රභූන් පුවත්පත්වලින් ඔටුණු පලඳවනු ලැබූ වීරයින් වුවද, ජනපද වල පදිංචි කරුවන් වීමේ කිසිදු අභිලාෂයක් ඔවුන්ට නැත. තදබල ආරක්ෂාව මැද ඔවුන් ජනපද වලට යන්නේ ඡයාරූප ගැනීමේ අභිලාෂයක් සඳහා පමණි. මේ ජනපදිකයන් අමානුෂික හා ම්ලේච්ඡ ආවේගයන්ගේ දිය සුළියකට ඇදවැටී ඇති දකුණේ සමාජ ක්‍රමයේම ගොදුරු පමණි. මේ අතර, ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් ඒ පළාත් වල කෙරෙන ද්‍රවිඩ ගම්මාන විනාශ කරනු ලැබීම, දකුණේ පුවත් පත් වල වාර්තා වෙන්නේ නැත. ද්‍රවිඩ සටන්කාමී ව්‍යාපාරවලින් මතුවන කෲරත්වය, එක් අතකින් මේ විනාශයේම ප්‍රතිඵලයකි. ද්‍රවිඩ සටන්කාමීන් සිංහල ගම්මානවලට කරන ප්‍රහාරයන් පිළිබඳ ඡයාරූප පුවත්පත් වල පල වුවත්, ඒවා ඉක්මණින් අමතක වී යයි. සිංහල ජනපදිකයන් මුහුණ දෙන ඛේදවාචකය පිළිබඳ අධ්‍යයනය කළ විට, අධිපති දේශපාලන මත වාදයේ ඇති කුහක සහ වංචාකාරී බව අනාවරණය වෙනු ඇත. මේ නිසාම බැරෑරුම් ප්‍රශ්න මතු කෙරෙන්නේ ද කලාතුරකිනි.

මේ කෘතිය සමාන්‍ය සිංහල පාඨකයා සඳහා ලියැවී නැති නිසා, ඓතිහාසික පසුබිම පිළිබඳව ඇති තොරතුරු මඳ බව පෙනේ. එහෙත් ද්‍රවිඩ විමුක්ති අරගලය යනු ම්ලේච්ඡ සහ කුරිරු එක් ව්‍යාපාරයක් නොව, අතීතය විසින් උරුම කරන ලද සදාචාරාත්මක ප්‍රහේලිකාවන් සහ සීමාවන් ජය ගැනීමට නිරතුරුවම ප්‍රයත්න දරණ ව්‍යාපාරයන් සහ අදහස් වලින් වලින් ද සමන්විත පොහොසත් ඉතිහාසයක් ඇත්තක් ද බව තේරුම් ගැනීමට සිංහල පාඨකයාට ඉවහල්වන අවශ්‍ය තරම් තොරතුරු මෙහි තිබේ. මෙය සිදුවීම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්  හෝ පරිපූර්ණ විග්‍රහයක් හෝ තිබෙන්නකැයි අපි නොකියමු. අපේ අවබෝධයේ ඇති අඩුපාඩු සපුරාලනු පිණිස, අදහස් සහ අත්දැකීම් ඇති අන් අය විසින් ද තවත් බොහෝ පොත් ලියැවෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.

මේ පොතට දකුණ සමග ඇති ඉතා වැදගත් සම්බන්ධයක් ගැන ද සඳහන් කිරීමට අපි මේ අවස්ථාව යොදා ගන්නෙමු. මේ පොතෙහි සම කතුවරයෙකු වන අභාවප්‍රාත්ත රාජනී විවාහ වී සිටියේ, ඈත දකුණේ ගැමි පවුලකින් ආ බුද්ධිමතෙකු වූ දයාපාල  තීරණාගම සමඟය. රාජනී මේ රටේ සාමාන්‍ය ජනයා වෙත මහත් ආදරයක් ඇතිකර ගත්තේ ඔහුගේ ආභාසයෙනි. ශිෂ්‍යයන් හා පොදු ජනයා අතර ඈ කල දේශපාලන කටයුතු, මේ විවාහයේ ඵලයක් විය. මේ පොතෙහි මතු වූ අදහස් බොහෝ ප්‍රමාණයක් වෙනුවෙන්, අපි මේ සම්බන්ධයට ණය ගැති වෙමු.

අවසාන වශයෙන්, ඉතා කෙටි කළක් තුළදී ඉතා හොඳින් මෙම පොත සිංහලට පරිවර්තනය කරවා මුද්‍රණය කිරීමට භාරගත් සමාජ විද්‍යාඥයින්ගේ සංගමයට අපේ කෘතඥතාවය පළ කරමු.

රාජන් හූල්
දයා සෝමසුන්දරම්
කේ. ශ්‍රීධරන්

1993 ජනවාරි 27.”