The Walle

බිඳුණු තල්වැට පාමුල සිඳීගිය ජීවිතයක මතක! :: (දිවයින ඉරිදා සංග්‍රහය)

Posted in පුවත්පත් ලිපි by admin on September 28, 2009

p9-2

1983 එක රාත්‍රියක මැදියම පසු වු මොහොතක මා අවදි කළ රාජනී ව්‍යාපාරයේ (ඉයක්‌කම් හි) තුවාල වී ඇති ළමයෙකුට ප්‍රතිකාර කිරීමට තමා කැඳවා ඇති බව කීවාය. ඇයට එය වෛද්‍යවරයෙකු වශයෙන් රෝගියෙකුට දැක්‌විය යුතු අනුකම්පාව පිළිබඳ කාරණයකි. මට එය දේශපාලන වැඩකි. මා ගල් ගැසිණ. අනෙක්‌ පසට හැරුණ මම නිදා ගතිමි. පීඩකයාගේ පාර්ශ්වයට අයත් මමත්, ප්‍රජාව “මුදා ගැනීමේ” අරගලයේ තම වගකීම ඉටු කරන, මා තදින්ම ආදරය කළ මෙම ගැහැනියගේ භූමිකාව අතරත් වූ ගැටුමේ වේදනාවෙන් පෙළුණෙමි. මෙම සිහින් කෙඳිරීමත් ඉන් පසු වූ දේශපාලන මත වාදයත් ක්‍රම ක්‍රමයෙන් ඈත් වු අප සම්බන්ධතාවයේ ඉරිතලා යැමේ ආරම්භයක්‌ විය.

රාජනි තමා වටා සිටි අය කෙරේ ඉමහත් බලපෑමක්‌ ඇති කළාය.

මිය යන විට ඇය දියණියන් දෙදෙනෙකුගේ, 11 හැවිරිදි නර්මදා හා 9 හැවිරිදි ෂාරිකා මවකි. ඇගේ වයස එවිට වසර 35 කි. මානව අයිතිවාසිකම් රැක ගැනීමේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ දී සුවිශේෂී ධෛර්යක්‌ සහ දැක්‌මකින් යුත් වු ඇය එම අයිතීන් කඩ වූ කුමන අවස්‌ථාවකදී හෝ නොසැලෙන ස්‌ථාවරයක්‌ ගත්තාය. එවක දෙමළ කොටි සංවිධානය හා ඉන්දියානු සාම සාධක හමුදාව අතර පැවති සන්නද්ධ ගැටුම උපරිම තැනකට පත්ව තිබූ අතර මොනව ආකාරයේ හෝ විසම්මුතියකට ඉඩක්‌ තිබුණේ නැත. මුලදී එල්. ටී. ටී. ඊ. ය සමග සම්බන්ධතා පැවැත්වු ඇය සටන් ඇරඹීමට පෙර දෙමළ කොටි සටන්කාමීන්ට ප්‍රතිකාර කළාය. එවිට ඔවුන් කුඩා සන්නද්ධ කණ්‌ඩායමකි. කාලය වෙනස්‌ විය. වෛද්‍ය පීඨයේ වැඩ නිම කොට ආපසු නිවස කරා යමින් සිටි ඇය, ආ මග රැක සිටි ඝාතකයෝ 1989 සැප්තැම්බර් 21 වන දින සවස 4.00 ට පමණ යාපනයේ කොකුවිල් හි තම නිවස අසලදී වෙඩි තබා මරා දැමූහ. ඇය පසු පස ආ ඔවුහු ඇගේ නම කියා කතා කළහ. බයිසිකලයේ සිටගෙනම ඇය ආපසු හැරී බැළුවාය. තුවක්‌කුකරුවන් තම හිසට පිස්‌තෝලයක්‌ එල්ල කර ගෙන සිටින බව දුටු ඇය ඉන් මිදීමට තම අතින් හිස ආවරණය කර ගත් බව ඇසින් දුටුවෝ කීහ. ඔවුන් ගේ උණ්‌ඩවලින් බේරීමට තම දෑත් පමණක්‌ ඇති මෙම ගැහැනිය කෙරේ එම ඝාතකයන් දැක්‌ වූයේa ඉමහත් කුරිරු බවකි. බිම වැටුණු පසු පවා ඇයගේ හිසට තවත් වෙඩි දෙකක්‌ තැබුවේ ඇය මළ බව හොඳින් තහවුරු කර ගැනීමටය. ඔවුන් කෙරේ අනුකම්පා කළ තම දෑතීන් ඔවුන්ගේ තුවාල වලට ප්‍රතිකාර කළ මෙම ගැහැනියට ඔවුන් කිසිම කරුණාවක්‌ දැක්‌වූයේ නැත. වෙඩි හඬින් බියට පත් අසල නිවසේ සිටි දියණියන් දෙදෙනා මිය ගියේ කව්දැයි නොදත්හ.

මෙම විස්‌තරයේ අරමුණ වන්නේ පෙර නොවු විරූ අයුරින් දශක ගණනාවක්‌ පැවති දේශපාලන කැළඹීමක හුදෙක්‌ නිරීක්‍ෂකයන් වීමට අදහස්‌ නොකළ තරුණ පවුලක්‌ වශයෙන් අප මුහුණ දුන් ජීවිතය දෙදරා ගිය අත්දැකීම් පිළිබඳව පුද්ගලික ආවර්ජනයක්‌ හා විග්‍රහයක්‌ කිරීමය. එය මුළු රටම වෙළා ගත් පුළුල් දේශපාලන ක්‍රියාවලියකට සාපේක්‍ෂකව එකට බැඳුණු පුද්ගලයන් දෙදෙනකුගේ සම්බන්ධතාවයේ දේශපාලන ගමන් මග සලකුණු කිරීමේ උත්සාහයකි.

මට රාජනි මුණ ගැසුණේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය අරගල වේගයෙන් පැතිර යමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර සටන්කාමී ක්‍රියාකාරිත්වයන් නැවත පණ ගැන්වී තිබුණු 1976 සැප්තැම්බර් මාසයේදීය. ඒ දිනවල අහිංසක ශිෂ්‍යයෙක්‌ වූ වීරසූරිය පොලිස්‌ වෙඩි පහරකින් මිය ගොස්‌ තිබූ අතර මෙවැනි කුරිරුකම්වලට එරෙහිව ශිෂ්‍ය සටන්කාමීත්වය වැඩෙමින් තිබිණ. ඒ අසාමාන්‍ය කාල පරිච්ඡේදයකි. රටේ පැවති දේශපාලන නොසන්සුන්තාව අපේ ජීවිත වෙනස්‌ කළ අතර අපේ ජීවිතද ඉතා සුළු ප්‍රමාණයකින් හෝ රටේ දේශපාලන ගමන් මග තීරණාත්මකව වෙනස්‌ කරමින් තිබිණ. මා 1976 දී දීර්ඝ කාලයක්‌ සිරගතව සිට දෙවන වරට හිරෙන් නිදහස්‌ වුවා පමණි. ක්‍රිස්‌තියානි ආගමික පසුබිමකින් හා රැඩිකල් දේශපාලන චින්තනයකින් යුත් දෙමළ කාන්තාවක්‌ වූ රාජනි යුක්‌තිය හා සාධාරණත්වය සඳහා වූ පිපාසාවත් දෙමළ ජනතාවට එරෙහිව වෙනස්‌ කොට සැලකීමේ හා ප්‍රචණ්‌ඩත්වයේ සලකුණක්‌ වූ මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයට එරෙහිවත් කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් පෙළ ගැසීමට පටන් ගත්තා පමණි. මා ඒ වන විට විශ්ව විද්‍යාලයක ආචාර්යවරයෙක්‌ වුවා පමණි. අපගේ සම්බන්ධතාව තර වෙත්ම අපගේ ජීවිතත් ඒ වන විට නූපන් දරුවන්ගේ ජීවිතත් සහමුලින්ම වෙනස්‌ වන බව පෙනිණ. අප විවාහ වූයේ කොළඹ දෙමළ කලකෝලාහල පැතිර ගිය 1977 අගෝස්‌තු 28 වන දින නිහඬවය. එදින රාත්‍රියේ අප නැවතී සිටියේ මගේ සිංහල මිතුරියකගේ නිවසේය. කලින් දින රාත්‍රියේ එම ප්‍රදේශයේ දෙමළ පවුල් කීපයකටම පහරදී තිබුණ නිසා මගේ මිතුරියගේ පියා රෑ පහන් කළේ පතුරොම් තුවක්‌කුවක්‌ අතේ ඇතිවය. මෙම විවාහයෙන් එක්‌ වූයේ වාර්ගිකව, සමාජයීය දේශපාලනකිව හා සංස්‌කෘතිමය වශයෙන් වෙනස්‌ වු මානව අවබෝධයෙන් හා ඒ දිනවල නොසෙල්විය හැකියෑයි සිතු ගැඹුරු ආදරයෙන් පිරි පුද්ගලයන් දෙදෙනෙකුය. මට ඇති ආදරය මුහුදක්‌ මෙන් ගැඹුරු යෑයි වරක්‌ ඇය මට ලීවාය. මෙම සියලු වෙනස්‌කම් තිබියදීත් ඒ සියලු සංකීර්ණතා මැද ජන වර්ග දෙක බෙදුම්කාරී යුද්ධයක යෙදී සිටියදී. සුළුතරය වන දෙමළ ජනතාව ඉන් බැට කමින් සිටියදී අපේ විවාහය ආරක්‍ෂා වීම අතිශයින්ම සිත් ගත් කරුණකි. සිංහල හා දෙමළ ජනප්‍රිය සංස්‌කෘතීන් දෙකම එකිනෙකා සමග සටන්වැද සිටි අතර සිහලුන් සිතුවේ තමන් අනෙකාට වඩා උසස්‌ සේය.

අපගේ වාර්ගික වෙනස්‌කම් ආරම්භයේදීම වෙනස්‌ කළ නොහැකි සේ පෙනුනේ පංච මහා බලවේගයේත් (සඟ ගුරු වෙද, ගොවි කම්කරු) 1956 උරුමයේත් පරම්පරාව වන 1956 සිංහල බෞද්ධ සමාජ සංචලතාවයේ කොටස්‌කරුවන්වූ මගේ දෙමාපියන්ගෙන් ලත් උරුමය නිසාය. දෙමල ප්‍රජාව හා ඔවුන්ගේ ගැටලු ගැන කිසිම අවබෝධයක්‌ නැති තරුණයන් වූ අපගේ චින්තනය හා දේශපාලන දැක්‌ම හැඩ ගැසුණේ එම මතවාදයෙනි. තරුණ වෛද්‍ය ශිෂ්‍යාවක්‌ ලෙස රාජනි ග්‍රහණය කර ගැනීමට උත්සාහ කළ දේශපාලන ගැටලු ශ්‍රී ලංකාවේ සුළුතරයට වෙනස්‌ කොට සැලකූ 56 පරම්පරාවෙන් පැවත එන සිංහල තරුණයන්ගේ මතවාදය හා දේශපාලන හැඩ ගැස්‌ම නිසා වඩ වඩාත් පාලනයෙන් ගිලිහිණ. මෙය ජනතා විමුක්‌ති පෙරමුණට 60 දශකයේ අගභාගයේ ආරම්භ කොට 70 හා 80 දශකය දක්‌වා විහිදුණු සිංහලවාදී දේශපාලන ව්‍යාපෘතිය ගොඩ නැගීමට රුකුලක්‌ විය. සිංහල ප්‍රදේශ වල හා කොළඹ අධ්‍යාපනය හා වැඩ කළ රාජනී මෙම දේශපාලන ප්‍රවනතාව තේරුම් ගත්තාය. ජ. වි. පෙ. සිංහලවාදී ව්‍යාපෘතිය දෙමළ ජනතාවට විසඳා ගත යුතු සුවිශේෂී ප්‍රජාතන්ත්‍රීය හා දේශපාලන දුක්‌ගැනවිලි පවතින බව පිළි නොගත් නිසා දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඔවුන් විසින්ම කළ යුතුයෑයි පෙන්නුම් කෙරිණ. දකුණේ සිංහලයන්ගේ මෙවැනි දේශපාලන ප්‍රතික්‌ෂේප කිරීම් රාජනි වැනි අය දෙමළ ප්‍රජාවේ සටන්කාමී සංවිධාන වෙත යැමට පෙළඹවීය.

සමාජයීය වශයෙන් අප වෙනස්‌ වු පංති දෙකකට අයත් වූවන්ය. රාජනි යාපනයේ මධ්‍යම පංතික පරපුරකින් පැවත ආවාය. දකුණේ දුප්පත් ගොවි පවුලකින් පැවත ආ මට ජීවිතයේ එකම විවරය වූයේ අධ්‍යාපනය පමණි. ළමා කාලයේ මා පාසලට ගියේ සැතපුම් ගණන් පයින් ඇවිදගෙනය. මගේ ළමා කාලයේ දරිද්‍රතාවයත් අසරණ කමත් රාජනිට කෙතරම් වේදනාවක්‌ විය හැකිද යත් එක්‌තරා දුරකට හැර කිසි විටෙකත් මම මගේ අතීතය ඇයට නොකීමට ඉටා ගතිමි. එහෙත් රාජනිට කිසි විටෙකත් මගේ සමාජ පසුබිම ඇගේ මධ්‍යම පන්තිය හා ගැටලුවක්‌ කර නොගත්තාය. මගේ ගති පැවතුම් ඔවුන්ගේ මධ්‍යම පාන්තික මති මතාන්තරවලට නොගැලපීම ඇගේ පවුලේ සාමාජිකයන්ගේ හා ඉන් බැහැර අයගේ අවධානයට ලක්‌වු හැම විටම ඇය මගේ ආරක්‍ෂාවට ඉදිරිපත් වූවාය.

අප දේශපාලන වශයෙන් වෙනස්‌ වු නිසා එය එදිනෙදා ජීවිතයටද බලපෑ හෙයින් වෙනස්‌කම් අපගේ විවාහයත් අනතුරකට ලක්‌ කෙළේය. මා මාක්‌ස්‌-ලෙනින් මාවෝවාදි දේශපාලන න්‍යාය පත්‍රය ආගමක්‌ මෙන් ඇදහූ අතර ඇයට වෙනත් රටවල සාර්ථක වු විප්ලවයේ අත්දැකීම් සමාජ සාධාරණත්වයේ ප්‍රායෝගික නිදසුන් ලෙස ශ්‍රී ලංකාව යොදා ගැනීමට අවශ්‍ය විය. රාජනි තම දේශපාලන ගමන් මගේදී දෙමළ කොටි සංවිධානයට ළං කෙළේ මෙම ප්‍රායෝගිකත්වයයි. ඒ ආකාරයටම ප්‍රායෝගිකත්වය කෙරේ වූ ඇයගේ බැඳීම ඇය කොටි සංවිධානයෙන් ඉවත් වු පස තම ශක්‌තිය හා හැඟීම් මානව අයිතිවාසිකම් ව්‍යාපාරයකට හරවා ගැනීමටද ඉවහල් විය.

මා හිරෙන් නිදහස්‌ වු අලුතම රාජනි මුණ ගැසුණු විට හිර ගෙදරදී වද හිංසාවට ලක්‌වීමෙන් ලත් තුවාල කැළැල් ඇඟ හැම තැනම විය. සම්බන්ධතාවක්‌ ඇති කිරීම පසෙක තබා මට ජීවත් වීමට අවස්‌ථාවක්‌ හෝ ලැබෙනු ඇතැයි හිරගෙදර දී මම නොසිතුවෙමි. ඇයගේ මධ්‍යම පාන්තික ජීවිතය හා අපේක්‍ෂාවන්ට හාත්පසින්ම වෙනස්‌ වු සමාජ හා දේශපාලන පසුබිමකින් යුත් මා පිළිගැනීමේදී ඒ සියල්ල අමතක කිරීමෙන් සුවිශේෂී ධෛර්යක්‌ ප්‍රදර්ශනය කළාය. ඇයට ඇගේ පවුල සමග සටන් කිරීමට සිදු විය. කිසියම් දිනක මට ඇය අතහැර මගේ දේශපාලන වගකීම් ඉටු කිරීමට යැමට සිදු වන බව රාජනි දැන සිටියාය. මම පවුලෙන් පිටව ගිය පසු නැවත මුණ නොගැසෙන බවද ඇය දැන සිටියාය. ගැඹුරු වෙනස්‌කම්වලට ලක්‌වූ මගේ පරම්පරාවේ සිතුම් පැතුම් අනුව අපගේ පුද්ගලික වුවමනාවන් හා අපේක්‍ෂාවන් දේශපාලන සාධාරණත්වයට හා දුප්පතුන්ගේ විමුක්‌තියට කැප කළ යුතුය. ගැඹුරු පවුල් බැඳීමකින් යුත් අපට අපමණ දුක්‌ ගැහැට විඳ ඇති දැඩි කළ අපගේ දෙමාපියන්ට කෘතගුණ සැලකීමේ අවශ්‍යතාවද තිබිණ. මෙම හැඟීම් හා යුතුකම් යටපත් කර ගත්තේ සන්නද්ධ විප්ලවයකින් පසු බිහි වන නව සමාජයෙන් සදහටම සාධාරණත්වය ඉටු වේය යන බලාපොරොත්තුවෙනි. මා නොමැතිව අපේ ළමයින් සමග ගතකරන ජීවිතයක්‌ පිළිගත් රාජනි හුදකලාවම ඔවුන් හදා වඩා ගැනීමේ අධිෂ්ඨානය පළ කළාය. අප මත වු බලපෑම් නිසා අපගේ අපේක්‍ෂා කැප කොට සම්ප්‍රදායික භූමිකා ඉවත දැමීමට සිදු වූ විට මෙම අදහස තවදුරටත් පවත්වා ගත නොහැකි විය. රාජනි කළේ එයයි. අප නොමැති වුවත් අපගේ ළමයින් අනෙකුත් අය, විශේෂයෙන්ම අපේ සහෝදරයන් රැක බලා ගනු ඇතැයි එකල බලාපොරොත්තු වූයෙමු.

1983 ජාතිවාදි කලකෝලාහල සෑම දෙමළ ජාතිකයෙක්‌ කෙරේම පෙර නොවූ විරූ බලපෑමක්‌ ඇති කළේය. ආත්ම ගරුත්වයක්‌ ඇතිව ජීවත්වීම අසීරු විය. එක්‌කෝ ඔබ අසමාන තත්ත්වය පිළිගෙන නිහඬව සිටිය යුතුය. නැතිනම් සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කළ යුතුය. දෙමළ ජනතාවට වෙනත් මගක්‌ දක්‌නට නොතිබිණ. එහෙත් සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගත යුතු මග ගැන ඒ වන විටත් රාජිනිට නිරවුල් අවබෝධයක්‌ නොතිබිණි. මේ ගැන මට වූයේ පැහැදිලි අදහසකි. එකඟ විය නොහැකි අවස්‌ථාවක ඉවත් වී යැමට ඉඩක්‌ නොමැති දේශපාලන සංවිධානයකට එක්‌වීමට මා කිසි විට කැමති වූයේ නැත. මෙවැනි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නොමැතිව ආයුධ ගන්නා සංවිධානයකට එක්‌වීම භයානක කටයුත්තකි. ඊට අමතරව තරුණ අපගේ දේශපාලන සිතුවිලිවලට ප්‍රමාණවත්ව ඇතුළු නොවු තවත් වැදගත් කාරණයක්‌ද විය. නාමික වශයෙන් හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ පවතින විට සන්නද්ධ අරගලවලට මුහුණ දීමට හැකියාවක්‌ ද සටන්කරුවන් පරාජය කිරීමේ දේශපාලන අවකාශයක්‌ද නිර්මාණය කිරීමේ නම්‍යතාවයක්‌ පවතී. ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශය සම්පුර්ණයෙන්ම වැසී තිබුණේ නැත. හදිසි වූ අපට ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ දේශපාලන අවකාශය සම්පූර්ණයෙන්ම යොදා ගැනීමට හැකි වූයේ නැත. 1971 හා 1987-89 ජ. වි. පෙ. සන්නද්ධ කැරැල්ලේ අසාර්ථක වීමත් දෙමළ කොටි සංවිධානය මෑතක සන්නද්ධ වශයෙන් පරාජය වීමත් ඔවුන්ගේ සංවිධානාත්මක හා ව්‍යqහාත්මක දුර්වලකම්වලට අමතරව දැකිය යුත්තේ මෙවැනි පසුබිමක්‌ යටතේය.

රාජනිගේ ප්‍රායෝගික මනස හා කරුණාව නිසා ඇය දෙමළ කොටි සංවිධානයේ දේශපාලන ව්‍යාපෘතියට ඇදී ගියාය. පොදු රාජ්‍ය මණ්‌ඩල ශිෂ්‍යත්වයක්‌ යටතේ 1983 දී එංගලන්තයට ගිය රාජනි 1984 දී ලන්ඩනයේ කොටි සංවිධානයට එක්‌ වූවාය. මම 1984 මැයි මාසයේදී ලන්ඩනයට ගොස්‌ ඇය මුණ ගැසුණෙමි. ඉතාමත් වේදනාත්මක හා පුළුල් සාකච්ඡාවකින් පසු අපේ දූවරුන් දෙදෙනාට ඇති පෞද්ගලික වගකීම හැර අපගේ විවාහය තවදුරටත් පවත්වාගෙන යැමේ අවකාශයක්‌ නැති බව පෙනිණ. වෙන්වීමට තීරණය කිරීමෙන් පසු මම ආපසු කොළඹට ආවෙමි. රාජනි සටන්කාමී දෙමළ කොටි සංවිධානයේ නොසැලෙන සාමාජිකාවක්‌ සේ සිටියාය. වරෙක නොසැලෙන සේ පෙනුන අපගේ සම්බන්ධතාව යුද්ධයක්‌ පවතින විට මෙවැනි වෙනස්‌ දේශපාලන මත වෙනස්‌කම් සමග පවත්වාගෙන ගෙන යැමේ මාර්ගයක්‌ද නොවීය. අප එකට එක්‌ කළ ගැඹුරු ප්‍රේමය දේශපාලන වෙනස්‌කම් මත සදහටම ඈත් වූවා සේය. රාජිනි බෙහෙවින් දුක්‌ වූ නමුත් ඇයගේ දේශපාලන පක්‌ෂපාතිත්වය අපගේ සම්බන්ධතාවට තිබු පක්‍ෂපාතිත්වය ඉක්‌මවා ගියේය. අපගේ දේශපාලන හා පෞද්ගලික වෙනස්‌කම් විසඳා ගත නොහැකි වු නිසා අපි වෙනස්‌ ගමන් මං වල යැමට තීරණය කෙළෙමු. අපගේ අකර්මණ්‍ය වූ සම්බන්ධතාවයේ වෙනස්‌කම් තුළ ඊටම සුවිශේෂී ගතිකත්වයක්‌ තිබිණ.

මා කොළඹට පැමිණ මාස කීපයකට පසු රාජනි කොටි සංවිධානයෙන් අස්‌ වූවාය. මෙම ප්‍රවෘත්තිය මට හෙළි කළ ඇය අපගේ සම්බන්ධතාව තවමත් පැරණි ප්‍රේමය තරම්ම ප්‍රබලව පවතින බවද කීවාය. රාජනි අපගේ වෙන්වීම පිළිගත්තේ මෙසේය. මගේ ජීවිතයේ සියලු දුක්‌ කම්කටොලු වලදී මහමෙරක්‌ සේ නොසෙල්වී මා සමග සිටි ඔබට මම කුරිරු වූයෙමි. “හැම විටම විවෘත වූ රාජනී අවංකය. එහෙත් අපේ සම්බන්ධතාව නැවතත් පෙර තත්ත්වයට පත්වේද යන්න ගැන සහතිකයක්‌ තිබුණේ නැත. මම මගේ ගමන ගියෙමි. මේ කාලයේදී දේශපාලන මර්දනය දැඩි වූ නිසා මම තරමක නිහඬතාවක්‌ පවත්වා ගතිමි. තම ආචාර්ය උපාධිය නිම කළ රාජනි නැවතත් ඇය ඇලුම් කළ නිවසට හා යාපනයේ ජනතාව වෙත සමීපව සිටීමට හා තම වැඩ කටයුතු පටන් ගැනීමට යාපනය විශ්වවිද්‍යාලයට පැමිණෙනු ඇත.

රාජනි නැවත යාපනයට පැමිණියේ 1986 දීය. ඇය වෛද්‍ය පීඨයේ ව්‍යවඡේද දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියා වූවාය. ඇයගේ දේශපාලන පරිණාමය වඩාත් කැපී පෙනෙන සුළු විය. මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක්‌ ලෙස ගොඩ නැගුණ ඇයගේ ස්‌ත්‍රීවාදී දැක්‌ම ඇගේ දේශපාලනයේ නව පැතිමානයක්‌ වූ අතර යාපනයේ ජනතාවගේ දේශපාලන න්‍යාය පත්‍රයේ නව ආරක මුල පිරීමක්‌ද විය. ඇය තුවක්‌කුවේ පාලනයට එරෙහිව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොපසුබස්‌නා උද්ඝෝෂිකාවක්‌ වූවාය. ඇය තවත් ශාස්‌ත්‍රඥයන් තිදෙනෙකු සමග මානව හිමිකම් සඳහා වු විශ්ව විද්‍යාල ආචාර්යවරු (ඹශ්‍යRJ) ගොඩනැගීමට පියවර ගත්තාය. එය ඉන්දියන් සාම සාධක හමුදාවේ මෙන්ම සටන්කාමීන්ගේ කෝපයටත් වෛරයටත් හේතු විය. රාජනි සහ අනෙක්‌ අය ගැටුමේ සියලු පාර්ශ්වයන් සිදු කළ මානව අයිතිවාසිකම් කඩ කිරීම් වාර්තා කළහ. මිනිස්‌ ජීවිතය කෙතරම් අගනේද යත් දේශපාලන හේතු මත කිසිම ජීවිතයක්‌ විනාශ නොකළ යුතුයෑයි ඇය තරයේ විශ්වාස කළාය. අසරණ ස්‌ත්‍රීන් සඳහා නවාතැනක්‌ වූ “පුරනි” ගොඩ නැගීමටත් පවත්වා ගෙන යැමටත් ඇය උනන්දුවෙන් දායක වූවාය. සෑම කෙනෙකුටම බරපතල තර්ජනයක්‌ එල්ල වූ පරිසරයක්‌ පැවති ඒ කාලයේ ඇය සෙනෙහබර මවක්‌, පසුබට නොව ක්‍රියාකාරිණියක්‌ හා බුහුමන් ලද ශාස්‌ත්‍රඥයෙකු ද වූවාය.

රාජනි වරින් වර දරුවන් සමග කොළඹට පැමිණ මා හමු වූයේ ඔවුන්ට තාත්තා අමතක නොවනු සඳහා විය හැක. මේ කාලයේ ඇය යූ ටී එච් ආර් හි අනෙකුත් අය සමග එක්‌ව බිඳුණු තල්රුක ලිවීමට පටන් ගත්තාය. එය, ඇය එල්ටීටීඊයේ නිසැක ඉලක්‌කයක්‌ බවට පත් වීමට හේතුවිය. එහි පිටපත කියවු මට එය ප්‍රකාශ කළ හොත් ප්‍රතිඵලය කුමක්‌ විය හැකිදැයි සැකයක්‌ තිබුණේ නැත. ප්‍රවේසම් වන ලෙස ඇයට උපදෙස්‌ දුන් මා එම කෘතිය මුද්‍රණයෙන් පළ කළ හොත් එල් ටී. ටී ඊය ඇය ඉතිරි නොකරන බවද කීවෙමි. ඊට එකඟ වු නමුත් තීරණය ගත යුත්තේ යු. ටී. එච්. ආර් බව ඇය කීවාය. එම කෘතිය පළ කිරීමටත් පෙර ඇය වෙඩි තබා මරා දැමිණ. එය පළ කිරීමට සූදානම් වන බව කොටි සංවිධානය දැන සිටියේය.

මෙම ව්‍යාපාරය දිගටම ගෙන යන විට තම ජීවිතය අනතුරට ලක්‌විය හැකි බව රාජනි පැහැදිලිවම දැන සිටියත් තම ක්‍රියාකාරකම් අඩු කිරීමට හෝ කළ යුතුයෑයි ඇයට හැඟුණ දේ නතර කිරීමට හෝ අදහස්‌ නොකළාය. දෙමළ සටන්කාමීත්වයේ දුෂ්කර කාල පරිච්ඡේදයේදී ඇයගේ නොපසු බස්‌නා ධෛර්ය හා අධිෂ්ඨානය එවන් විය.

1989 සැප්තැම්බර් 25 වන දින රාජනි නල්ලුර් පවුලේ සුසාන භූමියේදී මිහිදන් කෙරිණ. මගේ දියණියන් දෙදෙනා අතින් අල්ලාගෙන මගේ ජීවිතයේ ඉතාම කටුක, බෙහෙවින් වේදනාත්මක හා දුක්‌බර ගමනක්‌ ගියෙමි. අපගේ පවුලේ ප්‍රීතිමත් දින ඇයත් සමග වැළලිණ. ඇය නැති අපේ පවුල නැවතත් පෙර තිබුණාක්‌ මෙන් නොවීය. අපට ඇයගේ සොහොන බැලීමට වසර විස්‌සක්‌ තිස්‌සේම යා නොහැකි විය. දූවරුන් දෙදෙනාට මව නොමැතිව ගත කළ සෑම දිනයක්‌ම දරා ගත නොහැකි දුකක්‌ විය. ඔවුහු යුද්ධයෙන් තම දෙමාපියන් අහිමි වු ශ්‍රී ලංකාවේ දහස්‌ ගණන් වූ ළමයින්ටම එකතු වූ. උත්ප්‍රාසය වන්නේ අරගලයේදී මිය යැමට සිටියේ රාජනි නොව මා වීමය. දරුවන් රැක බලා ගැනීමේ වගකීම තම කාර්ය ලෙසම ඇය පිළිගත්තාය. එහෙත් සිදු වූයේ සම්පූර්ණයෙන්ම අනෙක්‌ පැත්තය. අපගේ සම්බන්ධතාවයේ ආරම්භයේදී මගේ දේශපාලන ජීවිතය දරුවන් රැක බලා ගැනීමෙන් අවසන් වනු ඇතැයි මම කිසි දිනක බලාපොරොත්තු නොවූයෙමි. ශ්‍රී ලාංකික දේශපාලනයේ මගේ සම්බන්ධතාව මගේ මරණයෙන් යෑයි අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වූයෙමි. එහෙත් එසේ සිදු නොවීය. ඒ වෙනුවට රාජනි දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිතය පුද කළ අතර මට සිදු වූයේ දරුවන් රැක බලා ගැනීම සඳහා ජීවත් වීමටය. ඔවුනට නිදහස්‌ව ජීවත් වීමට හැකි වන තෙක්‌ මම ඔවුන් රැක බලා ගතිමි. එහෙත් ප්‍රණාමය හිමි වන්නේ රාජනිටය. මුල් අවදියේදී රාජනි දැමූ සවි ශක්‌තිමත් පදනම නිසා මගේ කාර්ය නිම කළ හැකි විය. මෙය මගේ ළමයින්ට හෝ පවුලට විශේෂිත වූවක්‌ නොවේ. දේශපාලන තත්ත්වයේ විස්‌මය ජනක වෙනස්‌වීම කෙබඳුද යත් එය සන්නද්ධ ක්‍රියාකාරකම් ඇරඹී ඉතා කෙටි කාලයකදී දෙමළ ප්‍රජාවේ එක්‌ එක්‌ පුද්ගලයන්ගේ ජීවිතයට තදින් බලපෑය.

වෙඩි තබා මරා දැමීමට පෙර සැප්තැම්බර් මාසයේ මුල කෙටි සංචාරයකට එංගලන්තයට ගොස්‌ ආපසු පැමිණි රාජනි යාපනයට යැමට පෙර මා හමුවීමට බලාපොරොත්තුවෙන් කොළඹ නැවතී සිටියාය. එහෙත් මට නියමිත වෙලාවට පැමිණිය නොහැකි විය. ඇය කොළඹින් පිට වූයේ බලාපොරොත්තු කඩ වීමෙනි. පිටත්ව යැමට පෙර රාජනි ලන්ඩනයෙන් මට දීමට ගෙනවිත් තිබූ පොතක කවරයේ වැකි කීපයක්‌ ලියා තිබිණ. ඒ ඈ මට ලියූ අවසන් සටහනයි.

මුදු මොළොක්‌ බවින් හා ගැඹුරු ආදරයෙන් මිදී, බකුනින් නිර්මාණය කළ තමන්ගේම වුවමනාවන් නැති, තමන්ගේම අරමුණක්‌ නැති…. පුරුද්දක්‌ නැති, තමන්ගේම කියා දෙයක්‌ නැති, තමන්ටම කියා නමක්‌ හෝ නැති විප්ලවාදියෙකු ගේ ජීවිතයට ළඟා වීමට වෙර දරන
ඔහුට, විනාශයේ හා ඉහ වහා ගිය භීෂණයෙන් පිරි මෙම යුගයේ, දිනා ගත් හෝ අවසානයක්‌ නැති ජයග්‍රහණ නැති මෙම යුගයේ, තම හද තුළින් නැගෙන ආවේගයෙන් හා ආත්මයෙන් දැවෙමින් නැගෙන අධිෂ්ඨානයෙන් යුත් එම මිනිසා වෙනුවෙන් මෙම ගැහැනියට පිදිය හැක්‌කේ නමස්‌කාරයක්‌ පමණක්‌ නම් එය එසේම වේවා.

රාජනි 1989

රාජනි මෙය ලියා යාපනයට ගියාය. ඉන්පසු සැප්තැම්බර් 22 වැනිදා මා කිසි දිනක බලාපොරොත්තු නොවූ පණිවිඩයක්‌ ලැබිණ. ඇගේ මරණයෙන් මාගේ දේශපාලන ජීවිතය අවසන් විය. රාජනිගේ මරණයෙන් අපගේ සම්බන්ධතාව කෙටි කළද අපගේ මතකයන් ජීවිතය පුරාම යන සරු අත්දැකීමක්‌ විය.

කොටි සංවිධානයත් සමග රාජනිගේ දේශපාලන ගමන ආරම්භ වීමෙන් පසු විසම්මුතිය නොඉවසන, විවේචනය නිසා මරණයට පත් කෙරෙන සටන්කාමී සංවිධානවලට මිනිසුන් බැඳෙන්නේ ඇයිද යන ප්‍රශ්නය නැවත නැවත මතු කළේය. මම මේ ප්‍රශ්නය රාජනි සමග නැවත නැවතත් සාකච්ඡා කෙළෙමි. “ෙද්‍ර`හීන්” ඉවත් කිරීම දෙමළ සටන්කාමී සංවිධානවල මෙන් ජ. වි. පෙ. යේද පුරුද්දක්‌ විය. ජ. වි. පෙ හා එල්. ටී. ටී. ඊ. ය යන දෙකොටසම තම දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කළහ. කිසිම දයාවක්‌ නැති සමහර මිනී මැරීම් සිත්පිත් නැති කුරිරු භාවයක්‌ දැක්‌වීය.

ඕණෑම වගකිවයුතු දේශපාලන සංවිධානයක්‌ තම විවේචකයන් මරා දමන්නේ ඇයිද යන්න ජනතාවට පැහැදිලි කිරීමේ වගකීමෙන් බැඳී සිටී. මෙතෙක්‌ එය කිරීමට අපොහොසත් වූ ජ. වි. පෙ. කුරිරු ඝාතන සිදු කොට වසර ගණනාවක්‌ ගෙවී ගිය පසු එය කරනු ඇතැයි සිතිය නොහැක. ඉදිරියේදී හෝ එවැනි දේ නැවත සිදු නොකරන බවට ඔවුන් සහතික වන්නේ නැත. 13 වන සංශෝධනය යටතේ දෙමළ ජනතාවට අයිතියක්‌ ලබාදීමට පක්‍ෂපාත වු සිංහලයන් ඔවුහු 1987-89 කාලයේදී මරා දැමූහ. ජ. වි. පෙ. හා කොටි සංවිධානය යන දෙකම තම ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ තහවුරු කිරීමට නම් මේ කරුණ ගැන බරපතල අවධානය යොමු කළ යුතුය. දේශපාලන වශයෙන් විරුද්ධ මත දරන අය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ක්‍රියා නොකර ඔවුන් මරා දමන්නේ නම් අනාගතයේදී හෝ තම අත්තනෝමතික බලය ජනතාව මත පැටවීමට සමත් වුවද ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක්‌ නොවනු ඇත. රාජනි ගේ ඝතනයත් ඇගේ දේශපාලන උරුමයත් දක්‌aවන්නේ තුවක්‌කුවේ පාලනය යටතේ මිනිස්‌ නිදහස පාගා දැමීමට උත්සාහ කළද, කිසි විටෙකත් නිහඬ කළ නොහැකි ජනතාව ගේ දේශපාලන ප්‍රතික්‍රියාව තුවක්‌කුවට වඩා ප්‍රබල වන්නේය යන්නයි. එවැනි වීරෝදාර ගැහැනියක්‌ වීම ගැන මම රාජනිට ආචාර කරමි. රාජනි 1987 දී එංගලන්තයේ සිට ආපසු යාපනයට යැමට සූදානම් වන විට එහි පැවති යුදමය අනාරක්‍ෂිත වාතාවරණය යටතේ බොහෝ වෘත්තීයවේදීන් යාපනය හැර දා යන බැවින් එහි නොයන ලෙස ඇගේ පවුලේ අය මෙන්ම මිතුරන් අවවාද කළ තම ප්‍රජාවට සේවය කිරීමට ආපසු යා යුතු බව ඇය තරයේ කියා සිටියාය. 1989 දී ද නැවත වරක්‌ එම අවවාදයට සවන් දීම ඇය ප්‍රතික්‌ෂේප කළාය.

රාජිනිගේ ඝාතනයත් සමග දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය දුර්වල විය. ඉදිරි කාලයේදී දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය පැසුණු, වගකිවයුතු හා ශක්‌තිමත් දේශපාලන බලවේගයක්‌ වීමට නම් ඇයගේ මරණයට වගකිවයුත්තන් තම දේශපාලන වැරැද්ද පිළිගත යුතුය. ඒ ඇගේ ඝාතනය, දෙමළ ප්‍රජාව තුළ ඉමහත් දේශපාලන රික්‌තයක්‌ බිහි කරමින් පීලි පැන ගිය දෙමළ සටන්කාමිත්වය දේශපාලන අසංවර, අත්තනෝමතික හා නොමිනිස්‌ ස්‌වභාවය සංකේතවත් කරන හෙයිනි.

රාජනි ඝාතනය කළද ඇය පෙනී සිටි දේශපාලන අදහස්‌ කිසි දිනක යටපත් නොවනු ඇත. ඇය බිඳුණු තල්රුක තුළින් ගොඩ නැගූ හා විග්‍රහ කළ ජනතා හිතවාදී දේශපාලනය දෙමළ ජනතාවගේ විමුක්‌තියේ නාමයෙන් කුරිරු යුද යන්ත්‍රයක්‌ බවට පත්ව ඒකාධිපතිත්වයක්‌ ගොඩ නැගීමට සිත් පිත් නැතිව ජනතාව යොදා ගත් දෙමළ සටන්කාමිත්වය ගැන ප්‍රබල විවේචනයක්‌ විය.

දෙමළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට ජීවිතයේ සෑම ක්‌ෂේත්‍රයකම තම අයිතීන් හා නිදහස තහවුරු කෙරෙන ජනතාවාදී ව්‍යqහයන් අවශ්‍යය. එම ව්‍යqහය දූෂිත දේශපාලනයට හා තුවක්‌කුවේ පාලනයට එරෙහිව ශක්‌තිමත් විය යුතුය.

රාජනි තිරාණගම ඝාතනයේ නිවස කරා යමින් සිටි ඇය, ආ මග රැක සිටි ඝාතකයෝ 1989 සැප්තැම්බර් 21 වන දින සවස 4.00 ට පමණ යාපනයේ කොකුවිල් හි තම නිවස අසලදී වෙඩි තබා මරා දැමූහ. ඇය පසු පස ආ ඔවුහු ඇගේ නම කියා කතා කළහ. බයිසිකලයේ සිටගෙනම ඇය ආපසු හැරී බැළුවාය. තුවක්‌කුකරුවන් තම හිසට පිස්‌තෝලයක්‌ එල්ල කර ගෙන සිටින බව දුටු ඇය ඉන් මිදීමට තම අතින් හිස ආවරණය කර ගත් බව ඇසින් දුටුවෝ කීහ. ඔවුන් ගේ උණ්‌ඩවලින් බේරීමට තම දෑත් පමණක්‌ ඇති මෙම ගැහැනිය කෙරේ එම ඝාතකයන් දැක්‌ වූයේa ඉමහත් කුරිරු බවකි. බිම වැටුණු පසු පවා ඇයගේ හිසට තවත් වෙඩි දෙකක්‌ තැබුවේ ඇය මළ බව හොඳින් තහවුරු කර ගැනීමටය.

දයාපාල තිරාණගම
පරිවර්තනය: මහින්ද හත්තක

උපුටාගැනීම: දිවයින ඉරිදා සංග්‍රහය (2009 සැප්තැම්බර් 27 ඉරිදා)
http://www.divaina.com/2009/09/27/feature09.html

Leave a comment